Sunday, January 29, 2017

"සිත් සනහාලන මුතුවන් වරුසා"


1932 ජනවාරි 21 වැනිදා තලංගම දී උපත ලැබූ පසිඳුගේ ප්‍රේමදාස පෙරේරා පාසල් යන කාලයේදීම පුවත්පත් සඟරා ආදියට කවි සහ ලිපි ලිවීම ආරම්භ කළ ඔහු සිළුමිණ, ලංකාදීප, ජනතා, පුවත්පත් සඳහා වැඩි වශයෙන් ලිපි, කෙටි කතා, කවි ආදිය ලීවේය. ‘බටහිර ලේඛකයෝ’ නම් කෘතිය රචනා කරමින් ග්‍රන්ථකරණයට පිවිසි ඔහු ‘ජගත් සුරංගනා කතා, සීනි ගෙදර නපුරු ආච්චි, අමරණීය පුද්ගලයෝ, සිතිවිලි රේඛා, පද්‍ය තරංගනී, නව සඳක්, පාළු අඳුර නිල් අහස මමයි, මිහිර පැතූ ආදරේ, පූජෝපහාරය සහ චීන මධුසමය’ වැනි පොත් විශාල සංඛ්‍යාවක් රචනා කළේය.මා නවකතා, නවකතා, කෙටි කතා ග්‍රන්ථ ලියා රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබුහ .

තලංගම ප්‍රේමදාස සම්මානනීය ගීත රචකයකු ද  වූයේය.තලංගම ප්‍රේමදාස යන නාමය වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ ගුවන් විදුලිය නිසාය. සිරි අයියාගේ ළමා පිටියෙන් ගුවන් විදුලියට එක් වුණු ඔහු, විචිත්‍රාංග රැසක් සහ ගීත විශාල ප්‍රමාණයක් රචනා කළේය. විල්බට් ඇන්තනි ගැයූ ‘හිරු පායා එන සුන්දර මොහොතක’, රෝහිත විජේසූරිය ඇතුලු පිරිස ගැයූ ‘රන් විමනේ දොර ඇරිලා’, ‘රත්නදීප රත්නදීප ලංකදීප සෝබනී’ වැනි දේශාභිමානී ගීත ද, සෝමතිලක ජයමහ ගැයූ ‘දස බිම්බර මාර සෙනඟ’, ‘බුදු හිමිගේ මුව කමලේ’ සහ වික්ටර් රත්නායක ගැයූ ‘සිත් සනහාලන මුතුවන් වරුසා’ වැනි බොදු බැති ගීත ද ,කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ ‘බයිසිකල් හොරා’ චිත්‍රපටයේ එන ජේ. ඒ. මිල්ටන් පෙරේරා ගැයූ ‘ජීවිත රෝදේ කැරකෙනවා’, ‘කතුරු මුවාත් ‘ චිත්‍රපටයට ඇතුළත් වූ ‘කතුරු මුවාත් පිහිය මුවාත්’ යන ගීත ලියුවේ ද තලංගම ප්‍රේමදාසයන්ය . ඔහු ලියූ සුනිල් එදිරිසිංහ ගැයූ සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘අධිෂ්ඨාන’ චිත්‍රපටයෙහි එන ‘මායා මිරිඟුව පිරුණු ලෝතලේ’ නම් වූ ගීතයට 1979 දී පැවති මුල්ම ජනාධිපති සම්මාන උලෙළේදී සම්මානයක් ද හිමි විය.

තිමති වීරරත්න අධ්‍යක්ෂණය කළ ‘රජ දවසක්’ චිත්‍රපටයේ තිර නාටක රචකයා වූයේ ද තලංගම ප්‍රේමදාසය. සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ ‘හොටබරි යුද්දේ’ වේදිකා නාට්‍යයෙහි රචකයා ද ඔහුය.‘සූකිරි’ සහ ‘යහළු’ තලංගම ප්‍රේ්මදාසයන් අතින් සංස්කරණය වූ ළමා පුවත්පත්ය. ඔහු භාෂා පරිවර්තකයකු ලෙස ලංකා ගමනා ගමන මණ්ඩලයෙහි සේවය කළේය. 1986 ඔක්තෝබර් 24 වැනිදා ඔහු මෙලොවින් සමු ගත්තේ අම්මට සිරි ලංකාවේ තවත් කිසිම ඇගයීමක් නැති කලාකරුවෙකු ලෙසය .... 
(විස්තර උපුටා ගත්තේ සරසවිය පුවත් පතින් )