Monday, November 30, 2015

"දකින දසුනේ දෙනෙත රැඳුනේ සොඳුරු රුව ඔබ වේ"




ගීතයක්‌ රස විඳින්නට විශේෂ තුන් කට්ටුවක සුසංයෝගය  ඉතා වැදගත් වෙයි. ගීතයක පදමාලාව ගායනය මෙන්ම ඊට ඉතා මියුරු තනු නිර්මාණයක්‌ ඇතුළත් නොවුණහොත් එය සාර්ථක ගීතයක්‌ ලෙස අපේ හදවතේ සදාකාලිකව සටහන් නොවේ.

* දකින දසුනේ දෙනෙත රැඳුනේ සොඳුරු රුව ඔබ වේ....
* හිටින්න පොඩ්ඩක්‌ හිටින්න දුවන්නේ ඇයි ඔයා..
* හංස ධෙනුව හංසයාගේ
* පැන පැන එන සඳේ
* සීතලේ මල්වනේ පාවෙලා 
* හද සන්තානේ ඇති සන්තෝසේ
* ආදරණීය බබෝ 
* ප්‍රංශයෙන් රැජන ආවා 
* ඈත වනපෙත සරසාලා
* පායයි මේ රෑ සඳවතී 
* අලුත් කලාවක් හොයා ගත්තා මං
* නොයිඳුල් වන මල්,  
                                        ආදි ජනප්‍රිය ගීත වල තනු හා සංගීතය නිර්මාණය කල සංගීතවේදියා මතකද ? ඔබට විස්වාස කිරීමට හැකිද ඒ තනු නිර්මාණ කරුවා සංගීතය ගැන මූලික දෙයක් වත් ඉගෙන නොගත් කෙනෙකු කියා ...ඔහුගේම වචන වලින් කිවහොත් "මම සංගීතයේ මුල අකුරවත් ඉගෙන ගෙන නම් නෑ. කොටින්ම සංගීතය ගැන මට කිසිම දැනුමක් නෑ. මේසයකට තාලයකට තට්ටුවක් දානවා ඇරුනහම කිසිම සංගීත භාණ්ඩයක් වාදනය කරන්න මම දන්නෙ නෑ"...ඒ වෙනකෙකු නොව රටක් ජනතාවක් නැළවෙන ගී තනු නිර්මාණය කල "මොහමඩ් මොහිදීන් අබ්දුල් හක්" එහෙම නැත්නම් "ගලගෙදර හක්" කියන සංගීතවේදියා. එතුමාගේ විශිෂ්ඨ නිර්මාණ කීපයක්   තමයි මේ . උපතින්ම මුස්‌ලිම් ජාතිකයෙක්‌ වන මෙතුමාගේ  උපන් ගම ගලගෙදර. මුලින්ම අධ්‍යාපනය ලැබුවේ ගම්පොළ සහිරා විදුහලෙන් . ඉන් පසුව 6 ශ්‍රේණියේ සිට උසස්‌ පෙළ දක්‌වා යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙන ගත්තා. 

Monday, November 16, 2015

"තුරුණු සිතක පැතුම් වැළඳ ඈත පාවෙලා - සිහින නිම්නයේ සැරිසරා"


මොරටුව කටුකුරැන්ද ගමේ වෙළෙඳ ව්‍යාපාරික දොන් ධර්මපාල දසනායක සහ මළලගේ පොඩිනෝනා පිරිස් දෙමව්පියන්ගේ දෙවෙනි දරුවා ලෙස "දීපා මිල්ටන් සරත් දසනායක" උපන්නේ 1942 අගෝස්තු මස 13 වන දින ය. මව ගුරුවරියක් වූ බැවින් මවගේ පාසල වූ නාවලපිටිය අනුරැද්ධ විද්යාලෙයන් අතපොත් තැබූ සරත් දසනායක අනතුරැව ජාඅැල නිවන්දම විද්යාලය, ලක්ෂපතියේ ශික්ෂාදාන විද්යාලය හුණුමුල්ල මැදි විදුහල් පසු කරමින් 1957 දී හොරණ දොන් පේදිරිස් විද්‍යාලයෙන් ජේෂ්ඨ පොදු සහතික පත් විභාගය සමත් විය.1959 ඔක්තෝබර් 08 දින හොරණ ශ්‍රී පාලියට ගිය ඔහුට දැන ගන්නට ලැබුනේ එ දින එඩ්ව්න් සමරදිවාකරයන්ගේ අාදාහනය නිසා නිවාඩු දිනයක් බවය. නමුත් එහි සිටි සංගීත ගුරුවරයෙකු වූ හේවගේ ප්‍රේමදාසයන් හා නැටුම් ගුරුවරයෙකු වූ වීරසේන ගුණතිලකයන් සරත් දසනායක අමතා නැසී ගිය කළාකරු එඩ්ව්න් සමරදිවාකරයන් වෙනුවට නව කළාකරුවෙකු බිහිවේවායි පතමින් සරත් දසනායකයන්ට සංගීත ලොවට පිවිසෙන්නට මග හෙළි කලහ.1960 දශකයේ අග භාගයේ දී රජයේ සංගීත විද්‍යාලයට (සෞන්දර්ය විශ්ව විද්‍යාලය) බැඳුනි.1961 දී ප්‍රවීන සංගීතවේදී අාර් මුත්තුසාමි ගේ වාදක මණ්ඩලයේ සිතාර් වාදකයා ලෙස අැතුල්විමට වාසනාව සරත්ට හිමි විය.බිබිල මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු වශයෙන් 1966 වසරේදී  මුල්ම පත්වීම ලැබූ සරත් දසනායක ඉන් අවුරුදු දෙකකට පසුව පිළියන්දල මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස පත්වීය .ඉන් අනතුරුව අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ සංගීත පරීක්ෂක ලෙස හා 1977 සිට කොළඹ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස සේවය කළේය. "සිතිජය " චිත්‍රපටියේන් සිනමා සංගීතය ආරම්භ කල මෙතුමා"සදහටම ඔබ මගේ" (අමරපෙම් ලතාවේ, වාසනාව දෙර අැරලා, පෙම් රස වෑහන, දෑසේ මාගේ සැතෙපනා) "දිනුම්කණුව" (ඉරට අකීකරු, මියුරැ කල්පනා) ,"කස්තුරි සුවඳ"(පාට පාට පොදක් තිලක ලා, හද විමන් දොරින්, ලස්සන ලෝකෙක) ,"අාවා සොයා අාදරේ"(රොන් සොයා, රන් මසු රන්),"සංගීතා" වැනි චිත්‍ර පටි 125 කට පමණ සංගීත නිර්මාණයෙන් දායක වී ඇත .හැත්තෑව දශකය වන විට හින්දි ගීත ඒකාධිකාරයක් ව තිබු සිංහල චිත්‍රපට ගීතය මුදාගැනීම  සඳහා මුලික වූ මෙතුමා , ශංකර් ජායිකිෂන්ලාව, ලක්ෂ්මිඛාන්ත් පෙයාර්ලාල්ලාව අබිබවා යමින් ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණය කරමින් සිනමා සංගීතය හින්දි ඒකාධිකාරියෙන් සිංහල චිත්‍රපට ගීතය මුදවා ගත්තේය.
         

Thursday, November 12, 2015

"අවුරුද්දක් තිස්සේ කළ කී දේ"

"අවුරුද්දක් තිස්සේ කළ කී දේ
මතක් වෙනකොටත් සමහර එව්වට
මටම හිනා මස්සිනේ
අවුරුද්දක් තිස්සේ කල කී දේ
මතක් වෙන කොටත් සමහර එව්වට
මට ඇඬෙනව මස්සිනේ" ...

තැනින් තැන බ්ලොග් පොස්ට් වල කොමෙන්ට් කොට කොටා හිටිය මාව "සින්දු ඇනෝ " නමින් බ්ලොග් ලෝකෙට ඇවිත් අවුරුද්දකුත් වෙලා ...
එදා ඉඳලා මාත් එක්ක ඉඳිමින් මාව දිරිමත් කල හැමෝටම බොහොම ස්තුති කරනවා ..විශේෂයෙන් කියන්න ඕනා  "පත්තර මලයයි , මනොශයයි" මාව උනන්දු කලේ නැත්නම් මෙහෙම බෝගක් අටවා ගන්න එකකුත් නැ .. "මාතලන් "බොස්ට පිං  සිද්ධ වෙන්න බෝගක් අටවා ගන්නේ කොහොමද කියලා දැනගත්තා .අපි වගේ අලුතෙන් එන එවුන්ට මාතා ලොකු ශක්තියක් වුනා . "දේශකයාගේ "මේ පොස්ට් නිසාත් මම පොඩ්ඩක් මුදුනා උනා ..හැක් හැක්..මෙහෙම එකින් එක නම් කියන්න ගියොත් හැමෝගෙම ලියන්න වෙනවා ..එකක් හරි අමතක උනොත් මට සොරි වෙන නිසා හැමෝටම බොහොමත්ම ස්තුතියි අවුරුද්දක් පුරා දුන්න සහයෝගයට ...ජයවේවා !!!

Monday, November 9, 2015

"සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ"


1939 ජනවාරි 28 වැනිදා කුරුණෑගල වැලිගන්වත්තේ දී උපත ලද "සෙනරත් බණ්ඩාර ආනන්ද කුලතිලක" නොහොත් "බණ්ඩාර කේ.විජේතුන්ගයන්" බදුල්ල සාන්ත බීඩ් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද  පසුව කොළඹ ආනන්ද විදුහලට ඇතුළු වූයේ ය.ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ ඔහුට ආනන්ද විද්‍යාලය කළා කුසලතා සඳහා තෝතැන්නක් විය .ඔහු ආනන්ද විදුහලේ සිටියදී ලේඛන කලාවෙන් හා චිත්‍ර කලාවෙන් දැක්වූයේ අසමසම කුසලතාවකි.1957 දී අනතර් පාඨශාලීය චිත්‍ර තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තේය .1958 දී "The Anandian" නමැති විද්‍යාලිය සඟරාවේ සම සංස්කාරක ධුරය දැරිය ,හොඳම ස්වතන්ත්‍ර නිර්මාණය ,හොඳම රචනාව ,හොඳම ඉංග්‍රීසි රචනාව ,හොඳම චිත්‍ර නිර්මාණය සඳහා වූ ත්‍යාග වසර ගණනාවක් අඛණ්ඩව දිනා ගත්තේය .
           බණ්ඩාර කලා ක්ෂේත්‍ර කීපයකින් ම ප්‍රතිභාව පෑවේය. ඔහු ලේඛකයෙකි, කවියෙකි, චිත්‍ර ශිල්පියෙකි, අකුරු නිර්මාණ සැලසුම් ශිල්පියෙකි, ගීත රචකයෙකි, නිවේදකයෙකි, චිත්‍රපට ප්‍රචාරක සැලසුම් ශිල්පියෙකි, ගුවන් විදුලි නාට්‍ය රචකයෙකි, සහ ගුවන් විදුලි නාට්‍ය නළුවෙකි.බණ්ඩාර ගේ කුසලතා මුලින් ම මතු වූයේ ලේඛන කලාවෙනි. ශ්‍රීයා රත්නකාර මහත්මිය සංස්කරණය කළ ‘වනිතා විත්ති’ පුවත්පතට ඔහු ලිපි ලිව්වේ "ආනන්දනී විජයතුංග" යන ස්ත්‍රී නාමයෙනි.එකල මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සුනන්දා මහේන්ද්‍ර නමින් ද කරුණාරත්න අමරසිංහ, කරුණා අමරසිංහ නමින් ද, අසෝක කොළඹගේ, අසෝකා කොළඹගේ නමින් ද, අජන්තා රණසිංහ එම නමින් ද එලෙස කාන්තා පුවත්පතක් වූ ‘වනිතා විත්ති’ යට ලිපි ලියූ බව මෙහිදී සිහිපත් කළ හැකි ය.
       

Wednesday, November 4, 2015

"කිත්සිරි රැන්දු කේසර සිංහයා ජිවිතයේ අනිත්‍ය බව පසක් කරමින් සදහටම අපෙන් සමු ගනී "




‘කේසර සිංහයෝ’, ‘ගිජු ලිහිණියෝ’, ‘විජය ගීතා’ හා ‘සසල රේඛා’ ‘මධුමාලි’, ‘ධීවර සම්පත’ හා ‘සෙනාලි’ වැනි තිරගත වූ හා නොවූ චිත්‍රපට රැසක ද කඳපොල කුමාර තුංගයන්ගේ ‘ධවල මන්දිර’, ‘සත් රුවන් වරුසා’, ‘ගිම්හානෙට පසු’, සුසිර රත්නකුමාර ගේ ‘බෝනික්කා’ යන ටෙලිනාට්‍ය වලද සුගතපාල සෙනරත් යාපාගේ ‘මැටි කරත්තය’ යනාදි වේදිකා නාට්‍ය රැසක හා මිල්ටන් පෙරේරා හා ශ්‍රීමති තිලකරත්න ගැයූ 'සන්සුන් රුවන් හද මන්දිරයේ ' ධර්මදාස වල්පොල ගැයූ ‘දිළිඳුන් අතරේමයි විමානේ දෙවියන්ගේ’ සුජාතා අත්තනායක ගැයූ ‘සිහිනයකි මේ ජීවිතේ’ ටී.එම්. ජයරත්න ගැයූ සුදු හුණුකූරෙන් අයන්න ලියලා’, නීලා වික්‍රමසිංහ ගැයූ ‘මීට වඩා ලෝකය තව ලස්සන වුණු දාක දුවේ’ ලතා වල්පොල ගැයූ "කිත්සිරි රැන්දු " වැනි ගී රැසක් සඳහා සංගීතය නිර්මාණය කල "ප්‍රේමදාස අතුකෝරල" මාස්ටර් ඊයේ රාත්‍රී අප අතරින් සදහටම සමු ගත්තා .සිංහල සංගීත කලාවට අමිල මෙහෙවරක් කල එතුමාට නිවන් සුව පතමු !!